‘සුනේත්‍රා නොහොත් අවිචාර සමය’ කියලා පොතක් ගැන කවුරු හරි අහලා
තියෙනවද? ඔය පොත අපේ අම්මත්,
අත්තම්මත්, ආසා කරන පොතක්. පොතේ තියෙන්නේ පෘතුගීසි
ආක්‍රමණ සමයේ කෝට්ටේ හා සීතාවක රාජධානි - අර සමුද්‍රදේවි කුමාරිත් හිටියෙ ඒ කාලෙ
නේ - සම්බන්ධ කතාවක්ලු. ඒ එක්කම ඉතින් ආදර කතා සමග තව නොයෙක් දේවල් ඇතුලත් වෙනවලු.
පොඩ්ඩි ඉතින් අවිචාර සමය කියන්නේ මොකක්ද කියලා ඇහුවාම අත්තම්මා කීවේ 'කිසිම චාරෙකට නැති එකනේ පොඩ්ඩියේ'
කියලයි. අත්තම්මට ඉතින් කෙල්ලෙක්,
කොල්ලෙක් එක්ක කතා කළත්, අප්පුහාමි රා ටිකක් කටේ ගා ගත්තත්,
දයාවතී පිටි කොටන කොට වැඩියෙන් ටිකක් පස්ස ගැස්සුවත් ඒ හැම දෙයක්ම
චාරයක් නැති වැඩ විදියට තමා පේන්නේ.
අම්මා නම් කීවේ අවිචාරය කියන්නේ 'විචාරයක් නැතුව කරන වැඩ කියලයි.'
ඒ වචනේ තේරුම එදා නොදැන හිටියත් අද නම් පොඩ්ඩිට ඒ ගැන යම් වැටහීමක්
තියෙනවා කියලා කීව හැකි. පාලකයාගෙන් හරි පාලනයක් නොවෙන,
පාලනය වෙන පුද්ගලයන් පිස්සු නටන,
ලැබෙන කිසිම දෙයකින් නොසැනසෙන, නොලැබෙන හැම දෙයකටම දෙමව්පියන්
වගකිවයුතු, එහෙම නැත්නම් පාලකයන් වගකිව යුතු,
අසහනය හන්දා සමාජයටම ද්වේෂ කරන
පුද්ගලයන්ගෙන් පිරුනු කාලයක් අවිචාර සමයක් විදියට හැඳින්විය හැකි.
ඒ මදිවට මිනිස්සු හොඳටෝම වෙනස් වෙලා. ගැහැනු අයගේ වේගවත් වෙනස්වීමත්
මීට එක හේතුවක් වෙන්ට ඇති. මේ මාතෘකාව ඔලුවට ආවේ,
මෑතකදී කියවපු (කියවන්ට සිද්ධ වුනු ) ප්‍රවෘත්තියක් දැකලයි.
ඉන්දියාවේ කාන්තා මාධ්‍යවේදීන් කීප
දෙනෙකුට මූනු පොතේ හා අර 'චර චර'
(twitter) වලින් ඇතිවෙලා තියන තර්ජන සම්බන්ධව තමා
එහි සඳහන් වෙලා තිබුනේ. මාධ්‍යවේදීන් උනාම කථා කිරීමේ නිදහස අනිවාර්යයෙන් වැදගත්
වෙනවනේ. මේ කාන්තාවන්ට වෙලා තියෙන්නේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලටත් එය තර්ජනයක්
වීමයි. මොවුන් කියන විදියට ඔවුන් කාන්තාවන් වීම තමා මේ තර්ජනවලට මූලික හේතුව. ඒ
වගේම තර්ජන එල්ලවෙන්නෙත් ඔවුන්ගේ ගැහැනුකමට. සමූහ දූෂණ තර්ජන වගේ ඒවා තමාලු
වැඩියෙන්ම එන්නෙ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ තරුණ දියණියන් පවා මේ තර්ජනවලට
ලක් වෙලා.
මිනිස්සු ඇත්තටම මේ ගැහැනුකමට මෙච්චර නින්දා අපහාස කරන්නේ ඇයි කියන
ප්‍රශ්නය තමා පොඩ්ඩිගේ ඔලුවට ආවේ. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක හැප්පෙන අන්දමේ
හා ගැහැනියක් එක්ක හැප්පෙන අන්දමේ දකින්ට ලැබෙන්නේ දැඩි වෙනසක්. එය ඉන්දියාවේ
පමනක් නෙමේ හැම සමාජයකම විශේෂයෙන් ආසියාතික සමාජයේ සුලබයි. හේතුව කාන්තාවන් හැම
එකටම ඇඟිලි ගැසීම පිරිමින් නොරිස්සීමද? නැත්නම් ඔවුන් සම තැන් ගත් විට තමන්ගේ
තැන නැතිවේයැයි යන බියද? එහෙමත් නැත්නම් ගැහැනුන් ශාරීරිකව
දුර්වල බැවින් ඔවුන් මට්ටු කිරීමට ඇති එකම මාර්ගය ඔවුන්හට ශාරීරික අතවරවලට ලක්
කිරීමෙන් බව හිතන නිසාද?
මූනු පොතේ ගැහැනුන් කුරුමාණමට ලක්වෙන අවස්ථා සුලබයි. ඒවගේමයි ඔවුන්ට
ඇසීමට සිදුවෙන අපහාස. මේ තත්වය බ්ලොග් ලෝකෙත් එහෙමම නේද කියලයි පොඩ්ඩිට නම්
හිතුනේ.
බ්ලොග් ලියන අය එය ප්‍රසිද්ධියේ කරන්නක් බැවින් ඕනිම කෙනෙකුට ඔවුන්
විවේචනය කිරීමේ නිදහසක් තියෙන බව ඇත්ත. සමහරුන් නිර්නාමිකව පැමිනිලා ලිපිවල හොඳ ඒ
වගේම නරක ගැන තමන්ගේ අදහස් දක්වලා යනවා. ඒත් සමහරු කරන්නේ තමන්ගේ විනෝදය පිණිස
නිර්නාමිකව මිනිසුන් උපහාසයට ලක් කිරීම. විශේෂයෙන් ගැහැනියක් නම් අර මුලින් කීවා
වගේ ඔවුන්ගේ ගැහැනු කමට අසභ්‍ය විහිළු-තහළු කිරීම. මෙය කෙතරම් සභ්‍ය ලෙස සැලකෙනවාද
කියලා පොඩ්ඩි නම් දන්නේ නෑ. ඒත් ඊට හේතුව ගැහැනියක් වීම නම් එය හැමෝම ලජ්ජා
වියයුතු කාරණයක්.
හුඟක් දෙනා තේරුම් නොගන්න තවත් දෙයක් තමයි බ්ලොග් ලියන අය ලෝකය පුරා
විසිර ගිය කොටසක්බව. සමහරුන් විදේශයක වැඩි කල ජීවත් උනු,
නැත්නම් හැදුනු වැඩුනු අය වෙන්ට පුලුවන්. ඒ වගේ අයට තම මව් රටේ
එදිනෙදා පාවිච්චි කරන සමහර වචන නැත්නම් කියමන් වගේ දේවල් නොතේරෙන අවස්ථා තියෙන්ට
පුලුවන්.
පොඩ්ඩිට නම් 'පරිප්පු කෑවා'
කියන්නේ සාමාන්‍ය දෙයක්. පොඩ්ඩි පරිප්පු කන්ට ආසයි. ඒ වගේම 'නයි කයිද රෝස් පාන්'
කීවොත් ඒකෙත් පොඩ්ඩිට කිසිම ගානක් නෑ. නයි කොහොමත් රෝස් පාන් කන්නේ
නැති හන්දා. කියන දේ අරුත පෙනෙන විදියට ගන්නවා ඇර වෙන විදියක් කවුරුන් හෝ
ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවොත් ඇර පොඩ්ඩිට නම් තේරෙන්නේ නෑ.
මේ පිලිබඳව මෑතකදී පැන නැගුනු තත්ත්වෙකදී හොඳ යෙහෙළියකගෙන් ලැබුනු
අවවාදයක් උනේ 'විචාර බුද්ධිය'
පාවිච්චි කරන ලෙස. විචාර බුද්ධිය කොච්චර පාවිච්චි කලත්,
සමහර තැන්වලදී අපි ජීවත්වෙන සමාජය අනුව එය වෙනස් වෙන බව කියන්නට
හැදුවත්, එය
කීදෙනෙකුට තේරුම් ගියාද කියලා පොඩ්ඩිට නම් තේරුනේ නෑ.
පොඩ්ඩි 'විචාරය'
කරන්ට හදන විදිය අනික් අයට පේන්නේ 'අවිචාරයක්'
වගේ. එයාලාගේ 'විචාරය'
පොඩ්ඩිට පේන්නේ 'අවිචාරයක්'
වගේ.
බලාගෙන යනකොට විචාරයයි, අවිචාරයි අතර මහ ලොකු වෙනසකුත් නෑ වගේ.
Other people will call me a rebel, but I
just feel like I’m living my life and doing what I want to do. Sometimes people
call that rebellion, especially when you’re a woman…..


