Wednesday, 15 May 2013

අවිචාරය හා විචාරය







සුනේත්‍රා නොහොත් අවිචාර සමය කියලා පොතක් ගැන කවුරු හරි අහලා තියෙනවද? ඔය පොත අපේ අම්මත්, අත්තම්මත්, ආසා කරන පොතක්. පොතේ තියෙන්නේ පෘතුගීසි ආක්‍රමණ සමයේ කෝට්ටේ හා සීතාවක රාජධානි - අර සමුද්‍රදේවි කුමාරිත් හිටියෙ ඒ කාලෙ නේ - සම්බන්ධ කතාවක්ලු. ඒ එක්කම ඉතින් ආදර කතා සමග තව නොයෙක් දේවල් ඇතුලත් වෙනවලු. පොඩ්ඩි ඉතින් අවිචාර සමය කියන්නේ මොකක්ද කියලා ඇහුවාම අත්තම්මා කීවේ 'කිසිම චාරෙකට නැති එකනේ පොඩ්ඩියේ' කියලයි. අත්තම්මට ඉතින් කෙල්ලෙක්, කොල්ලෙක් එක්ක කතා කළත්, අප්පුහාමි රා ටිකක් කටේ ගා ගත්තත්, දයාවතී පිටි කොටන කොට වැඩියෙන් ටිකක් පස්ස ගැස්සුවත් ඒ හැම දෙයක්ම චාරයක් නැති වැඩ විදියට තමා පේන්නේ.

අම්මා නම් කීවේ අවිචාරය කියන්නේ 'විචාරයක් නැතුව කරන වැඩ කියලයි.' ඒ වචනේ තේරුම එදා නොදැන හිටියත් අද නම් පොඩ්ඩිට ඒ ගැන යම් වැටහීමක් තියෙනවා කියලා කීව හැකි. පාලකයාගෙන් හරි පාලනයක් නොවෙන, පාලනය වෙන පුද්ගලයන් පිස්සු නටන, ලැබෙන කිසිම දෙයකින් නොසැනසෙන, නොලැබෙන හැම දෙයකටම දෙමව්පියන් වගකිවයුතු, එහෙම නැත්නම් පාලකයන් වගකිව යුතු, අසහනය හන්දා සමාජයටම ද්වේෂ කරන  පුද්ගලයන්ගෙන් පිරුනු කාලයක් අවිචාර සමයක් විදියට හැඳින්විය හැකි.

ඒ මදිවට මිනිස්සු හොඳටෝම වෙනස් වෙලා. ගැහැනු අයගේ වේගවත් වෙනස්වීමත් මීට එක හේතුවක් වෙන්ට ඇති. මේ මාතෘකාව ඔලුවට ආවේ, මෑතකදී කියවපු (කියවන්ට සිද්ධ වුනු ) ප්‍රවෘත්තියක් දැකලයි. ඉන්දියාවේ  කාන්තා මාධ්‍යවේදීන් කීප දෙනෙකුට මූනු පොතේ හා අර 'චර චර' (twitter)  වලින් ඇතිවෙලා තියන තර්ජන සම්බන්ධව තමා එහි සඳහන් වෙලා තිබුනේ. මාධ්‍යවේදීන් උනාම කථා කිරීමේ නිදහස අනිවාර්යයෙන් වැදගත් වෙනවනේ. මේ කාන්තාවන්ට වෙලා තියෙන්නේ ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලටත් එය තර්ජනයක් වීමයි. මොවුන් කියන විදියට ඔවුන් කාන්තාවන් වීම තමා මේ තර්ජනවලට මූලික හේතුව. ඒ වගේම තර්ජන එල්ලවෙන්නෙත් ඔවුන්ගේ ගැහැනුකමට. සමූහ දූෂණ තර්ජන වගේ ඒවා තමාලු වැඩියෙන්ම එන්නෙ. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ තරුණ දියණියන් පවා මේ තර්ජනවලට ලක් වෙලා.

මිනිස්සු ඇත්තටම මේ ගැහැනුකමට මෙච්චර නින්දා අපහාස කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තමා පොඩ්ඩිගේ ඔලුවට ආවේ. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක හැප්පෙන අන්දමේ හා ගැහැනියක් එක්ක හැප්පෙන අන්දමේ දකින්ට ලැබෙන්නේ දැඩි වෙනසක්. එය ඉන්දියාවේ පමනක් නෙමේ හැම සමාජයකම විශේෂයෙන් ආසියාතික සමාජයේ සුලබයි. හේතුව කාන්තාවන් හැම එකටම ඇඟිලි ගැසීම පිරිමින් නොරිස්සීමද? නැත්නම් ඔවුන් සම තැන් ගත් විට තමන්ගේ තැන නැතිවේයැයි යන බියද? එහෙමත් නැත්නම් ගැහැනුන් ශාරීරිකව දුර්වල බැවින් ඔවුන් මට්ටු කිරීමට ඇති එකම මාර්ගය ඔවුන්හට ශාරීරික අතවරවලට ලක් කිරීමෙන් බව හිතන නිසාද?

මූනු පොතේ ගැහැනුන් කුරුමාණමට ලක්වෙන අවස්ථා සුලබයි. ඒවගේමයි ඔවුන්ට ඇසීමට සිදුවෙන අපහාස. මේ තත්වය බ්ලොග් ලෝකෙත් එහෙමම නේද කියලයි පොඩ්ඩිට නම් හිතුනේ.

බ්ලොග් ලියන අය එය ප්‍රසිද්ධියේ කරන්නක් බැවින් ඕනිම කෙනෙකුට ඔවුන් විවේචනය කිරීමේ නිදහසක් තියෙන බව ඇත්ත. සමහරුන් නිර්නාමිකව පැමිනිලා ලිපිවල හොඳ ඒ වගේම නරක ගැන තමන්ගේ අදහස් දක්වලා යනවා. ඒත් සමහරු කරන්නේ තමන්ගේ විනෝදය පිණිස නිර්නාමිකව මිනිසුන් උපහාසයට ලක් කිරීම. විශේෂයෙන් ගැහැනියක් නම් අර මුලින් කීවා වගේ ඔවුන්ගේ ගැහැනු කමට අසභ්‍ය විහිළු-තහළු කිරීම. මෙය කෙතරම් සභ්‍ය ලෙස සැලකෙනවාද කියලා පොඩ්ඩි නම් දන්නේ නෑ. ඒත් ඊට හේතුව ගැහැනියක් වීම නම් එය හැමෝම ලජ්ජා වියයුතු කාරණයක්.

හුඟක් දෙනා තේරුම් නොගන්න තවත් දෙයක් තමයි බ්ලොග් ලියන අය ලෝකය පුරා විසිර ගිය කොටසක්බව. සමහරුන් විදේශයක වැඩි කල ජීවත් උනු, නැත්නම් හැදුනු වැඩුනු අය වෙන්ට පුලුවන්. ඒ වගේ අයට තම මව් රටේ එදිනෙදා පාවිච්චි කරන සමහර වචන නැත්නම් කියමන් වගේ දේවල් නොතේරෙන අවස්ථා තියෙන්ට පුලුවන්.

පොඩ්ඩිට නම් 'පරිප්පු කෑවා' කියන්නේ සාමාන්‍ය දෙයක්. පොඩ්ඩි පරිප්පු කන්ට ආසයි. ඒ වගේම 'නයි කයිද රෝස් පාන්' කීවොත් ඒකෙත් පොඩ්ඩිට කිසිම ගානක් නෑ. නයි කොහොමත් රෝස් පාන් කන්නේ නැති හන්දා. කියන දේ අරුත පෙනෙන විදියට ගන්නවා ඇර වෙන විදියක් කවුරුන් හෝ ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවොත් ඇර පොඩ්ඩිට නම් තේරෙන්නේ නෑ.

මේ පිලිබඳව මෑතකදී පැන නැගුනු තත්ත්වෙකදී හොඳ යෙහෙළියකගෙන් ලැබුනු අවවාදයක් උනේ 'විචාර බුද්ධිය' පාවිච්චි කරන ලෙස. විචාර බුද්ධිය කොච්චර පාවිච්චි කලත්, සමහර තැන්වලදී අපි ජීවත්වෙන සමාජය අනුව එය වෙනස් වෙන බව කියන්නට හැදුවත්, එය  කීදෙනෙකුට තේරුම් ගියාද කියලා පොඩ්ඩිට නම් තේරුනේ නෑ.

පොඩ්ඩි 'විචාරය' කරන්ට හදන විදිය අනික් අයට පේන්නේ 'අවිචාරයක්' වගේ. එයාලාගේ 'විචාරය' පොඩ්ඩිට පේන්නේ 'අවිචාරයක්' වගේ.

බලාගෙන යනකොට විචාරයයි, අවිචාරයි අතර මහ ලොකු වෙනසකුත් නෑ වගේ.


Other people will call me a rebel, but I just feel like I’m living my life and doing what I want to do. Sometimes people call that rebellion, especially when you’re a woman…..

Thursday, 25 April 2013

දැහැනකට සම වැදුනෙමි.






අම්මා යන වචනයේ තේරුම, ආත්මාර්ථයෙන් තොරව, සීමා බැමි නැතිව, තමන්ගේ හදවතින්ම ආදරේ කරන කෙනෙක්, කීවොත් හරි කියලා මට හිතෙනවා. ඊට සමාන වෙන වචනයක් මේ ලෝකේ නැති තරම්. දෙවියන්ට හැමවිටම අපි ලඟ ඉන්න බැරි හන්දා ඒ වෙනුවට දෙවියන් ඇයව මැවුවා කියන කතාව ඇත්තක් වෙන්ට ඇති. දරුවෙකුගේ සතුට, වේදනාව බෙදාගන්ට ඈ හා සමත් කෙනෙක් මේ මහ පොළොවේ තවත් නෑ.

"මිහිමඬලේ අඳුරු කොනේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා..."

සිද්ධිය සිදු උනේ සති අන්තයේ එක් දවසක. පොඩ්ඩි හිටියේ කාරය එලවමින්, නන්දා මාලිනීගේ ගීයක් අහමින්. අම්මා ඇගේ දෑස් පියාගෙන දැහැනකට සම වැදිලා ඉන්නකොට ගීයේ අර්ථයත්, අම්මාගේ මූනේ තිබුනු ශාන්තබවත්, පොඩ්ඩිගේ උගුර හිර කරනවා වගේ එයාට දැනුනේ. ඒ එක්කම රූප රාමු පෙලක් හිතේ ඇඳෙමින් නැතිවී යන්ටත් පටන් ගත්තා.

පොඩ්ඩිගේ හොඳම යෙහෙළිය උනේ අම්මා. පුංචි කාලේ ඉඳන්ම අම්මා පස්සෙන් වැටිලා හිටිය පොඩ්ඩි අනුගමනය කලේ ඇයව.

පොඩ්ඩි, පොඩි කාලේ අප්පච්චි රට රටවල ගියාම අම්මා පොඩ්ඩිව අරන් අත්තම්මා ලඟට ගියා. ටික දවසකට පොඩ්ඩි ලංකාවේ පාසලක ඉගෙන ගත්තේ ඒ වගේ කාලෙකදියි.

"අනික් ලමයින්ගේ අම්මලා සාරි අඳිනවා. අම්මා අඳින්නේ අප්පච්චිලා අඳින ඇඳුමක්." කියලා පොඩ්ඩි බිම පෙරලිලා ඇඬුව වෙලාවේ, කලිසමක් ඇඳගෙන කාරය එලවන්ට පහසු උනත්, පොඩ්ඩිගේ හිත හදන්ට අම්මා ඔසරිය ඇන්දා.

දවසක් මැණිකා බිම වැටිලා මිටියකින් මොකකට හරි පාර දෙනවා. කැඩුනු යමක් හදන්ටලු. ඒ මොකක්ද කියලා අමතක උනත්, පොඩ්ඩිගේ ප්‍රශ්නෙට මැණිකා දුන්නු උත්තරේ නම එයාට හොඳට මතකයි.

"පොඩි මැණිකෙගේ අම්මා ඉංජිනේරුවෙක් බැන්දානම්, මේ කැඩුනු බිඳුනු දේවල් ලේසියෙන් හදාගන්ට තිබුනනේ."

පොඩ්ඩිත් ඉතින් දවසක් සෙල්ලම් කරනකොට එයාගේ සෙල්ලම් ගෙයක් ඇතුලේ තිබුනු චූටි පුටුවක කකුලක් කැඩුනා. "ලොකු උනාම මම බඳින්නේ ඉංජිනේරුවෙක්." පොඩ්ඩි අම්මා ලඟට ගිහින් කෑ ගැහැව්වා. "ඒ මොකෝ?" අම්මා ඇහුවා. "මගේ සෙල්ලම් ගෙදර පුටුව කැඩුනා. කැඩුනු දේවල් හදන්ට ඉංජිනේරුවන්ට පුලුවනිලු. මැණිකා තමයි කීවේ."

අම්මා ඒ වෙලාවෙම අප්පුහාමිට කියලා ඒක හැදෙව්වා.

"පේනවනේ ඕනෙම අප්පුහාමි කෙනෙකුටත් ඒ වැඩේ කරන්ට පුලුවනි." අම්මා හිනාවෙලා කීවා.

පොඩ්ඩි ලොකුවෙලා ඉස්කෝලේ යන්ට පටන් ගත්තාම ඒ විදියට අප්පච්චි නැති හැම වෙලාවෙම අත්තම්මා ලඟට දුවගෙන යන එක අම්මා නැවැත්තුවා. ඒ කාලේ පොඩ්ඩි අප්පච්චි ගෙදර නැති පලිය පිරිමැහුවේ අම්මාගෙන්. දවසක්දා කලුවර වැටිලා තියෙද්දි, මහන්සිවෙලා ගෙදර ආව අම්මව ඉස්කෝලේ ගෙනියන්ටම ඕනි පොතක් ගන්ට කියලා  සාප්පු ගානේ ගෙනිච්ච හැටිත් පොඩ්ඩිට අද වගේ මතකයි. අම්මගේ මූනේ තිබුනු විඩාව ඇය වචනෙන් පැවසුවේ නෑ. කරබාගෙන ඉවසුවා. ඈ වගේ අතට පයට සේවකයන් පිරිවරාගෙන හැදුනු කෙනෙක් තනියම විදේශයක, රැකියාවකුත් කරගෙන, ගෙදර දොරේ වැඩපලත් කරගෙන, ළමයෙකුත් බලාගෙන කොහොම ඉන්ට ඇද්ද කියලා පොඩ්ඩිට හිතෙන්නේ දැන්.

එයා කවදාවත් පොඩ්ඩි කරන දෙයකට එපා කීවේ නෑ. හරි වැරදි පෙන්නලා දුන්නා විතරයි.

අවුරුදු විසි ගානකදි, අප්පච්චි එක්ක ආව අම්මා අදටත් අපි දෙන්නව  බලාගන්නේ ඇස් දෙක වගේ. එයාගේ ලෝකේ අපිලු. හැමදාම උදේට අපේ කෑම පාර්සල් හදලා, ඇඳුම් මැදලා, අපිට කවලා, උම්මත් දීලා ගෙදරින් යවන්නේ. යනකල් දොර ලඟ ඉඳන් අත වනනවා හීන් හිනාවකුත් එක්ක. අපේ වැඩ කරන එක එයාට සතුටක්ලු. අපේ සතුට එයාගේ සතුටලු. අපේ නිවස ගෙයක් කරලා තියෙන්නේ අම්මා. ගෙට එනකොට දැනෙන්නේ පන්සලකට එනවා වගේ හැඟීමක්ලු අපේ යාලුවෙක් දවසක් කීවා.

අදට උනත් අප්පච්චි පරක්කු වෙලා ගෙදර එනකල් අම්මා කන්නේ නෑ. "ඔය මොන මෝඩ වැඩක්ද බඩගින්නේ ඉන්නේ?" කියලා පොඩ්ඩි අහනකොට අම්මා කියන්නේ "අප්පච්චි නැතුව කෑවම මට මොකක්දෝ අඩුවක් දැනෙනවා. එයා ආවාම ආපහු මේසේ අස් කරලා ඔක්කොම කරනකල් මම ලඟ ඉන්න එකේ එයා එක්කම කෑම කෑවාම මොකද වෙන්නේ?" කියලයි.

කොච්චර රෑ උනත් එයා එනකල් අම්මා මග බලාගෙන ඉන්නවා. අප්පච්චි මග දිගට එයාට කෝල් කරන්නෙත් ඒ බව දැනගෙන වෙන්ට ඇති.

පොඩ්ඩි ජීවිතේ  මුල්ම මෝඩකම කරපු වෙලාවේ, එයා හිතුවේ ඒ වැරැද්ද උනේ දෙමව්පියන් හන්දා කියලයි. විශේෂයෙන් තරහා ආවේ ඔච්චර ලඟින් හිටපු අම්මට එය නොපෙනුනේ ඇයි කියන එකටයි. පොඩ්ඩි ගෙදරින් පැනලා ගිහින් (පැනලා ගියා කීවට කොල්ලෙක් එක්ක එහෙම නෙමේ ඕං... පොඩ්ඩිගේ හොඳම යෙහෙළිය ඉගෙන ගත්තේ අර ලොකු රටේ ඒ කාලේඉතින් ගියේ ප්ලේන් එකේ, ටිකට් එක අරන් දුන්නේ අප්පච්චි)  බෙලාගේ ගෙදර වගේ ගෙදරක හිටියේසරත් සෘතුවේ ගස්වලින් බිම හැලුණු කොළ පෑගුවේ, වැම්පයර්ලා ගැන කියවලා, හොයලා බැලුවේ, කලුවර වැටෙනකොට එයාලා එයි කියලා ජනේලෙන් එලිය බලාගෙන හිටියේ ඒ කාලේ. අම්මා ඒ දවස්වල ඉවසපු ඉවසීම, පොඩ්ඩිගේ ළමයෙක් වෙනුවෙන් එයා නම් ඉවසන එකක් නෑ. ඊට පස්සේ අප්පච්චිත් එක්ක පොඩ්ඩි ලඟට ඇවිත්, ජීවිතේ ලස්සනම නිවාඩුවට ගෙනියන්ට වැඩ කලේ අම්මා. එයාගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේවත්, එයාට දොස් කීවේවත් නෑ. ඇතිවෙනකල් පීනලා, රහ කෑම කාලා නිවාඩුව ඉවරවෙලා එනකොට තමා කාලෙකට පස්සේ, පොඩ්ඩි අම්මගේ උරිස්සට හේත්තුවෙලා නිදාගත්තේ. එයාව බදාගෙන උම්මා දුන්නේ. අම්මා එදත් එයාගේ කඳුළු හංග ගත්තා.

අම්මා කෙනෙක්ගේ සෙනෙහේ මනින්ට බෑ කියලා මම කීවේ ඒ හන්දයි. මගේ අම්මා වගේම තමා 'අටමාගේ තෑගි දිනපු කතාවේ' එන අම්මත්. ආදරේ පෙන්නන විදිය වෙනස් උනාට දෙන්නාගෙම ආදරේ එක සමානයි. ළමයි ඒක මොන විදියට පිළිගත්තත්, ඒ ආදරේ වෙනසක් නෑ.

"කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
බවෙන් බවය යන මං සලකුණු දැක,
ඔබව සොයා ආවා..."

නන්දා මාලිනී කියන්නේ පොඩ්ඩි ගැන වෙන්ට ඇති. එයා අම්මා පස්සෙන් බවයෙන් බවය එන හැටි තමා ගීයෙන් කියවෙන්නේ.

මගේ අම්මගේ ආදරේ හරියට භාවනාවක් වගේ. මම  හිත හදාගන්නේ ඒ භාවනාවට සම වැදීමෙන්.

මගේ ආදරණීය අම්මාගේ අගය, ගී වලින් මතු කරපු නන්දා මාලිනීට ස්තුතියි.

සෑම අම්මා කෙනෙකුටම දරුවන්ගේ ආදරය ලැබේවා!!

ඒ වගේම මේ ලිපිය මෙලොව වසන හැම අම්මෙකුටම උපහාරයක් වේවා!!



කප් සුවහස්කල් ගීතය...


'The moment a child is born, the mother is also born. She never existed before. The woman existed, but the mother, never. A mother is something absolutely new.'


Monday, 15 April 2013

සමුගනිමි ඔබෙන්...






නගරය පුරා පැතිර ගිහින් තිබුනේ අමුතු මූසල පෙනුමක්. ඈතින් ඇහෙන දවුල් බෙරේ හඬ, හරියට මරණය අත ලඟ කියලා පෙන්නුම් කරනවා වගේ. ඈ සඳලු තලේ ඉඳන් පහල බලා හිටියේ තව එක් වරක් ඔහුගේ ආදරණීය මුහුන දැකගන්ට. පිටුපසට කොට ගැට ගසා තිබූ දෑතගෙල මුලට කර තිබු අවුල්වූ හිසකෙස් , කරේවූ රතු මල් දම ඔහුට එක්කලේ දුක්බර පෙනුමක්.

ඇගේ දෙපසින් වූයේ සිංහල බිසොවුන් දෙදෙනා. රජතුමාට දාව දරුවන් බිහිකල මොණරවිල දිසාවගේ දියණිය සහ මාරවිල දිසාවගේ දියණිය. ඒ එක්කම පිටුපසට වෙන්ට මදුරා පුරෙන් පැමින සිටි අනෙක් කුමරිය.

ඔහු හිස එසවූයේත්, ඈ පහල බැලුවේත් එකම මොහොතක. ඇගේ හදවත තිබුනේ සොවින් ගලක් බවට පත්වෙලා.

ඒ දෑස දිහා බලා ඉඳීමට නොහැකිවූ ඈ දෙනෙත් පියාගත්තා.

සක්මන් කරන මලුවේදී බැඳි හාද
සිත්සන්තොසින් දුන් මුවමී බීවාද
ඉක්මන් ගමන් හිමියනි අද යනවාද
දස්කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාදඈ මිමුණුවා.

විසැස් කමලාවී රස පහස නොවිඳ මෙමා
දැසිස් දුණි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මසිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිමා

ඔහුගේ පිලිතුරු කවියෙන් අදහස් වූයේ, සීතාට ආදරය කිරීමේ වරදට, ඇගේ පහස නොලබා ඈ දෙස බැලූ පමණින් තම හිස් දසය කැප කිරීමට රාවණාට සිදු වූයේ නම්, ඔබගේ රස පහස විඳි මට එක හිසක් නැති වීම කවරේද? යන්නයි.

බෙර හඬ නෑසී යනුත්, ඈතින් ඇසුනු මිනිස් ඝෝෂාවත්, කාකයන්ගේ කරච්චයලත්, සන් කලේ ඔහුගේ අවසානය සිදුවූබව. සේවිකාවක් ඈ වත්තන් කොට යහන් ගැබ කරා ගෙනගියා.

ඔහු තවත් මා බලන්නට නො එනවා ඇති. ඔහු ලඟ නැති මුලු ලොවම නිසලයි. තද අඳුරකින් වැහිලා. ඔහු නැති දිවිය පාලුයි. කරන්නේ මොනවද කියලා හිතාගන්ටත් බැරි තරම්.

අපි හැමදාම හිමිදිරියෙම එකිනෙකා මුන ගැහීමේ පුරුද්දක් තිබුනා. ඒ වගේම හැමදාම රෑට, ලොවට හොරා එකිනෙකාගෙන් සමුගන්න පුරුද්දක් තිබුනා. ඔහුගේ  ඒ හිනාහඬ, ගී හඬ, ආදරණීය කතාබහ යලිත් මට ඇහෙන එකක් නෑ. මා ඇත්තෙන්ම ආදරය කලේ ඔහුගේ කඩවසම් රූපයටද? උදෑසන ඇහෙන ඔහුගේ මිහිරි හඬටද? සිත්ගන්නා සුරතල් හිනාවටද? නැතිනම් අයත් කර ගත නොහැකි ඔහුගේ සැබෑ ආදරයටද?

ඔහු නැති ලොවක් මෙහෙම යැයි ඔහු ඉන්නාවිට  මට කිසිසේත් මවාගත නොහැකිවූ හැටි. ඔහු නැති ලොව මෙලෙස අන්ධකාරය යැයි මා සිතුවා නම්, මා කවදාවත් ඔහුට ආදරය කරන එකක් නෑ. ඔහු නැතිව හිතේ නැගෙනා වේදනාව මෙතරම් යැයි දැන සිටියා නම්, මා කිසිදිනක ඔහු හා ආදරයෙන් බැඳෙන එකක් නෑ. සසර පුරුද්දට ඔහු හා ආදරෙන් බැඳුනු මුත් මා ඔහු හට කලේ බරපතල වැරැද්දක් නේද?

වෙන්වෙන්නට නම් අපි එක්වූයේ ඇයි? මුලු ලෝකයෙන්ම අපිට තහංචි එල්ලවූයේ ඇයි? අපේ ආදරය අසම්මත ආදරයක් වූ නිසාද? අපේ ආදරයට එරෙහිවූ මුලු සමාජයට ශාප වේවා! අපේ අත් පය යදමින් බැඳ දමන සම්ප්‍රදායන් සියල්ලටමත් ශාපවේවා!! අප මෙලෙස සිරකර දමා ඇති කුරිරු ලොවටමත් ශාප වේවා!!! ඔබට මා සිතෙහි ඇති ආදරය කවදාවත් නොනැසෙනු ඇති. මා මියගිය පසුවද ඒ ආදරය ඔබ හඹා එනු ඇති. යම් දිනක සසර සැරිසරනා එක් මොහොතක  අප දෙදෙනා යලි මුණ ගැසෙනු ඇති. එවිට ඔබෙ පෙම්වතිය වෙන මා ඔබෙගෙන් උදුරා ගැනීමට කිසිවෙකුටත් නොහැකිවෙනු ඇති. දැන් මා ජීවත් වෙන්නේ ඒ මොහොත උදෙසායි.

තමාගේ පෙම්වතා, තම සැමියා විසින් ගෙල සිඳ මැරීමෙන් අනතුරුව, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අග  මෙහෙසිය කල පැතුමයි ඒ.


**************************************************************

අවුරුදු 17 දී රජකම් හිමිවූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ  රජතුමා ගැන ඉතිහාසයේ එක්, එක් තැන්වල කියවෙන්නේ එක්, එක් අන්දමට. ඔහු රූබර කාන්තාවන්ට දැඩි ආශාවක් දැක්වූ අයෙකු බවත්, ඔහුගේ මෙහෙසියන්හට ඔහුගේ ආදරය නොලැබුන බවත් , ඔවුන් මාලිගය අලංකාර කල මල් යායක , මල් කිහිපයක් පමණක්වූ බව පෙන්වන,  ඉතිහාසයේ තවත් එක් ශෝචනීය  ආදර කතාවක් තමයි දස්කොන් සහ ප්‍රමිලා ආදර කතාව.

දස්කොන් එකල මෙරට සේවය කල ප්‍රංශ ජාතිකයෙකුගේ පුතෙක්. ඔහුගේ පියා මෙහි උන්, පෘතුගීසි කුල කාන්තාවක හා විවාහවීමෙන් ලබන දරුවෙකු ලෙස සැලකෙනවා. එමෙන්ම කුඩා දරුවකුව සිටියදී, ඔහුව ගසක් මුල දමා ගොස් තිබීම නිසා 'ගස්කොන්' ලෙස හැඳින්වී පසුව දස්කොන් නමින් හැඳින්වූ බවටත් පැවසෙනවා.

මොහු ඉතා කඩවසම් පුද්ගලයෙක්. එමෙන්ම කවි කීමේ දක්ෂයෙක්. මාලිගාවක රූබර මෙහෙසියකගේ ආදරය දිනාගැනීමට ඔහු සමත් වූයේ මේ නිසා වෙන්නට ඇති. රජුට පක්ෂව ක්‍රියා කිරීමත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමත් නිසා රජතුමාගේ කිට්ටු හිතවතෙකු බවට පත්වෙන ඔහු, රජුගේ හිත විදේශිකයන් වෙත නතු කිරීම නිසා මහනුවර සිටි රදළයන්ගේ හතුරෙකු බවට පත්වෙනවා.

නිතරම අසනීපවූ දේවිය සඳහා යාගයකට සැරසෙන මාලිගාවේ , ඇගේ රුවක් ඉදි කෙරෙනා තැනකට ගිය දස්කොන් පිලිරුවේ එක් තැනක උපන් ලපයක් තැබුවාලු. තම ස්වාමියා හැර වෙනත් මිනිසෙකුහට දැකිය නොහැකීම උපන් ලපය ඇත්තෙන්ම දස්කොන් එම රූපයේ සටහන් කලාද? නැත්නම් එය , රජුට ඔවුන්ගේ ආදරය අල්ලාදීමේ ක්‍රියාව ඊරිසියාකාර රදළවරුන්ගේ ක්‍රියාවක්ද? එතරම් මෝඩ ක්‍රියාවක් ඔහු විසින් කරාවියැයි ඇත්තෙන්ම සිතිය හැකිද?

මෙකල අනියම් පෙම් සබඳතාවක් සඳහා මරණ දඬුවම හිමි නොවුවත්, රජතුමා දස්කොන්හට මරණ දඬුවම දීමෙන් පෙනෙන්නේ ඔහු තුල දස්කොන් කෙරෙහිවූ දැඩි වෛරයයි.

අවසන රතු මල් දමක් පැලැඳ ඔහු දංගෙඩියට හිස තැබීමට යනවිට ඔහුගේ ප්‍රේමවන්තියගේ හිත තුල මොනවාගේ නම හැඟීම් පහල වෙන්නට ඇත්ද?

ආදරය කල මුත්, අතින්වත් නොඇල්වු සීතා වෙනුවෙන් තමන්ගේ හිස් දහයක් පූජා කල රාවණාට වඩා ඇගේ සිරුරේ පහස ලබා එක් හිසක් පිදීමට ලැබීමත් කෙතරම් භාග්‍යයක්දැයි දස්කොන් අවසානයේ ප්‍රමිලාගෙන් ඇසුවේ, ඔහු ඇත්තෙන්ම පිවිතුරු ආදරවන්තයෙක් නිසා නොවේද?

ආදරයක් නොලැබෙන කෙනෙකු, ඒ ආදරය හිමි තැනකින් ලබා ගැනීම වරදක්ද? මේ ආදර කතාවෙන් මතු කෙරෙනා තවත් එක් ප්‍රශ්නයකි ඒ?